පරිගනක වැඩසටහනක ඇති අංග

ඕනෑම පරිගනක භාෂාවකින් ලියන ලද පරිගනක වැඩසටහනකම වාගේ දක්නට ලැබෙන ප්‍රධාන අංග හතරක් ඇත. එනම්...

* විචල්‍යය ප්‍රකාශනය (Declaration): මතකයේ ඉඩ වෙන් කිරීම.

* අනුපිලිවෙල (Sequence): විධාන පෙල.
* තේරීම (Selection): කේත කොටස් කිහිපයකින් එකක් තෝරා ගැනීම.
* පුනරාවර්තනය (Repetition): කේත කොටසක් නැවත නැවත ධාවනය.

බොහෝ පරිගනක භාෂා වලදී මතකයේ ඉඩ වෙන් කිරීම වැඩසටහන් ලේඛනයේ ඉහලින්ම තිබිය යුතුය. නවීන පරිගනක වැඩසටහන් භාෂා වල මෙම සීමාව නැති නමුත් මෙසේ කිරී මෙන් වැරදි අවම කර ගත හැක.

පරිගනක වැඩසටහනක් ක්‍රියා කරන්නේ වරකට එක් පේලියක් බැගිනි. එය ඉහල සිට පහලට ධාවනය වේ. විචල්‍යයක ඇති අගයක් වෙනස් කල විට එතැන් සිට පහලට ඇති පේලි වලට අදාල වන්නේ වෙනස් වූ නව අගයයි.

තේරීම (Selection) සහ පුනරාවර්තනය (Repetition) ඇත්තේ මෙම අනුපිලිවෙලට ක්‍රියාත්මක වීමට පිටින් යාමටයි, එය වෙනස් කිරීමටයි. පරිගනක වැඩසටහනක් සංකීර්න වන්නේ මෙම තේරීම සහ පුනරාවර්තනය නිසාය.

තේරීම (Selection):
මෙහිදී සිදු වන්නේ දී ඇති *තර්කයක් පරීක්ෂා කර බලා එය නිවැරදිනම් එක් කේත කොටසකුත් (Code Block) එය වැරදිනම් වෙනත් කේත කොටසකුත් ධාවනය කිරීමයි. මෙහිදී කිසි විටක එම කේත කොටස් දෙකම එක් ධාවනයක් තුලදී ධාවනය නොවේ, දෙකෙන් එකක් පමනි.

පුනරාවර්තනය (Repetition):
පුනරාවර්තනය වීමේදීද තර්කයක් පරීක්ෂා කර බලයි. දෙනලද තර්කයක් නිවැරදිව පවතින තුරු (හෝ දෙන ලද තර්කයක් සම්පූර්ණ වන තුරු) එහි තුල ඇති කේත කොටස නැවත නැවත ධාවනය වේ.

*තර්කයක් පරීක්ෂා කිරීම:
තේරීම සහ පුනරාවර්තනය යන දෙකටම මූලික වන්නේ තර්කයක් පරීක්ෂා කර බැලීම යන සංකල්පයයි.
උදා:
X යන්න නිඛිල විචල්‍යයක් යැයි සිතමු. එහි අගය 3 යැයිද සිතමු. පහත දැක්වෙන්නේ X සඳහා පරීක්ෂා කල හැකි තර්කයි.

X = 5 : X හි අගය පහයි ද?
X => 2 : X, 2 ට සමාන හෝ විශාල වේ ද?
X < 4 : X, 4 ට වඩා කුඩා ද?
X <> 8 : X, 8 ට අසමාන වේ ද?

මේ තර්කයක් සඳහා ලැබෙන්නේ ඔවු හෝ නැත (True / False) යන පිලිතුරයි. එම ඇත හෝ නැත යන තර්කය මත තේරීම හෝ පුනරාවර්තනය පාලනය වේ.

No comments: